උතුරේ ඇතැම් ප්‍රදේශවල සුදු වෑන් අවතාරය කැරකෙන බවට පසුගිය කාලයේ ආරංචියක් පැතිර ගොස් තිබුණි. ඇතැම් විට එම සුදු වෑන් වලින් ගොස් කරන ලදැයි සිතිය හැකි ගෙවල් බිඳුම්, පහරදීම් ආදී සිදුවීම් කිහිපයක් ද වාර්තා විය. ඇතැම් දේශපාලන කණ්ඩායම් මෙන් ම ඇතැම් සංවිධාන ද එම සුදු වෑන් අවතාර කතාවල චෝදනා හමුදා භට පිරිස් වෙත පැටවීමට උත්සාහ කළහ. එහෙත් හමුදාවේ කිසිවකු එම සිද්ධිවලට සම්බන්ධ යැයි ඔප්පු කර ගැනීමට නොහැකි විය.
මෙවැනි සිද්ධීන් මෙසේ සිදුවෙමින් තිබියදී පසුගිය 6 වැනිදා යාපනය චාවාකච්චේරි ප්‍රදේශයේ දී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මවක් සහ ඇගේ පහළොස් හැවිරිදි පුතා පැහැරගෙන ගොස් තිබුණි. මව ශාන්තිනීය, ඇගේ පුතා පැහැර ගැනීම සම්බන්ධව චාවාකච්චේරි පොලිසියට මෙන් ම යුද හමුදාවට ද පැමිණිල්ලක් ලැබී තිබුණි. පොලිසිය සහ හමුදාව එක්ව අතුරුදන් වූ දෙදෙනා සොයා මෙහෙයුම් ආරම්භ කළහ.
ශාන්තිනී මරා දමා තිබූ අයුරු
මේ අතර යුද හමුදාවේ බුද්ධි තොරතුරු අංශවලට අනාවරණය කර ගැනීමට හැකි වූයේ පැහැර ගැනීමට ලක්වූ ශාන්තිනී ගේ සැමියා මෙන් ම රූපන් පුතාගේ පියා වූ කුහදාසන් වසර ගණනාවකට පෙර මෙරටට පැමිණ ඇති බවයි. ඔහු කාලයක් තිස්සේ කැනඩාවේ පදිංචිව සිට ඇත. තවද ඔහු රට යාමට පෙර සිය බිරිඳ වූ ශාන්තිනීගෙන් දික්කසාද වී තිබේ. ඔවුන්ගේ පුත් ශාන්තිනී විසින් බලා කියා ගත්තා ය. විදේශගතව සිටි කාලය පුරා කුහදාසන් තම දරුවා ගැන හෝ සොයා බලා නැත.
තොරතුරු
හමුදාවට ලැබුණ බුද්ධි තොරතුරු මත ශාන්තිගේ සැමියා අත්අඩංගුවට ගැනිණි. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී පැහැර ගැනීමට අදාළ සියලු තොරතුරු අනාවරණය විණි.
කොටි ත්‍රස්තවාදීන්ගේ භීෂණය පැවැති කාලයේ කුහදාසන් විදේශගතව තිබුණි. ඇතැම්විට ඔහු කැනඩාවේ සිට ත්‍රස්තවාදීන්ගේ අන්තර්ජාතික කටයුතුවලට ද සහාය වී ඇති බවට සැක කෙරේ.
එම කාලයේ තම සැමියාගෙන් කිසිදු උදව්වක් නැතිව වුව ද ශාන්තිනී තම පුතා ද රැක බලා ගෙන දුකසේ ජීවත් වූවා ය. පුතා ඉල්ලා ත්‍රස්තවාදීන් ඇයට අවස්ථා කීපයකදීම කරදර කර තිබුණත් තම පුතා කොටි ළමා බළකායට නොදී රැක ගෙන තිබුණේ තම පුතා කොටි ඇසට ගැටීමට ඉඩ නොතබා රැක බලා ගනිමිනි. ඇයට අවශ්‍යව තිබී ඇත්තේ පුතාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ය.

මේ අතර කුහදාසන් පුතා ඉල්ලා පණිවුඩ ගණනාවක් යවා තිබුණි. එහෙත් තම ජීවිතය මෙන් වූ පුතා දීමට ශාන්තිනී අකැමැති වූවා ය. මේ නිසා කුහදාසන් තම බිරිය සමඟ දැඩි වෛරයකින් පසු වී තිබුණි. ඔහු සිය බිරිඳ ඝාතනය කර හෝ පුතා ලබා ගැනීමට සැලසුම් කළේ ය. ඔහු එම සැලසුමට අනුව පසුගිය 05 වැනිදා වැල්ලවත්තෙන් අංක ……. ජීප් රථය කුලියට ලබා ගත්තෙමි. ඊට අමතරව වවුනියාව ප්‍රදේශයෙන් දෙදෙනකු ද කුලියට ලබාගත් තිබුණි. ඔවුන්ට ගෙවීමට පොරොන්දු වී තිබූ මුදල රුපියල් දස දහසකි.

වාහනයේ රියදුරු, කුහදාසන් සහ පාතාලයන් දෙදෙනාට අමතරව කුහදාසන්ට උදව් කරන ශාන්තිනී පදිංචි මීයාලේ නිවෙසට යාබදව පිහිටි නිවස. පුද්ගලයකු ද කුහදාසන්ගේ අනියම් බිරිඳ ද මෙම අපරාධ සැළසුමට එකතු වී ඇති බවට තොරතුරු ලැබී ඇත.
මොවුන් සැලසුම් කරගත් පරිදි පසුගිය 06 වැනිදා පස්වරුවේ සුදු වෑන් රථය ශාන්තිගේ නිවෙස ඉදිරිපිට නතර කළහ. එහි සිටි පිරිස ශාන්තිනී සහ පුතා බලහත්කාරයෙන් වෑන් රථයට නංවා ගත්හ. අවට පදිංචිකරුවන්ට දැන ගැනීමට හැකි වූයේ මේ දෙදෙනා පැහැරගෙන ගිය බව පමණි.
ශාන්තිනීත් පුතාත් යාපනයේ නිවෙසක් වෙත ගෙන යනු ලැබිණි. එහිදී පුතා එම නිවෙසේ නතර කෙරුණි. “මට අම්මා නැතිව ඉන්න බැහැ. අම්මයි මායි ගෙදර යවන්න අපට කරදර කරන්න එපා තාත්තේ පුතා රූපන් තම පියාට පින්සෙන්ඩු විය.
“උඹ ඉඳපන් මම ඉක්මනින් එනවා කුහදාසන් තම බිරිඳ ද සෙසු පිරිස ද සමඟ පිටත්ව ගියේ ය.
තම මව රැගෙන ගිය පියා තවමත් නැත මව එන තෙක් පුතා නොනිදා බලා සිටී. පසුදින අලුයම කුහදාසන් තවත් කාන්තාවක් සමඟ රූපන් සිටි නිවෙසට පැමිණියේ ය.
“කෝ මගේ අම්මා පුතා කලබලයෙන් විමසූ විට පියා කට වහගෙන මම කියන විදිහට වැඩ කරපන් යැයි තර්ජනය කෙළේ ය.
කුහදාසන් සමඟ පැමිණ සිටි කාන්තාව ඔහුගේ අනියම් බිරිඳය.
පැහැරගෙන ගිය ශාන්තිනී එක්තරා ස්ථානයකට රැගෙන ගොස් අමානුෂික ලෙස පහර දී තිබේ. එම පහර දීමේදී ඇය මිය ගොස් ඇත. මිය ගිය ශාන්තිනීගේ සිරුර රැගත් අපරාධකරුවන් යාපනය පේදුරුතුඩුව මාර්ගයේ එක්තරා පාලු මිදුලක දමා ගිනි තබා ආපසු පැමිණ තිබුණි.
බුද්ධි අංශ
පසුව හමුදා බුද්ධි තොරතුරු මත කුහදාසන් අත් අඩංගුවට පත්විය. තවද පැහැර ගැනීමට ලක්වූ 15 හැවිරිදි රූපන් ඔහු ළඟ සිටියදී සොයා ගැනීමට හැකි විය. ශාන්තිනී පිළිබඳ තොරතුරක් නොලැබුණි.
මේ අතර රූපන් ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මෙසේ පැවසීය.
“මමයි අම්මයි ගෙදර ඉන්න විට තාත්තා තවත් කට්ටියක් එක්ක ඇවිත් අප පැහැරගෙන ගියා.
මාව මේ ගෙදර නවත්තලා අම්මා අරගෙන ගියා. අපව නිදහස් කරන්න කියලා අම්මා තාත්තාට වැන්දා. ඒත් තාත්තා වෑන් එක ඇතුළේදීත් අම්මාට පහර දුන්නා යැයි කීය.
පසුදින පෙරවරුවේ ශාන්තිනී සොයා මෙහෙයුම් කරමින් සිටි හමුදාවටත් පොලිසියටත් ඉහත සඳහන් කළ ස්ථානයේ තිබී බාගෙට පිළිස්සී තිබූ ශාන්තිනී ගේ සිරුර සොයා ගැනීමට හැකි විය. රූපන්ට මවගේ සිරුර පෙන්වන ලදුව හඳුනා ගැනීම මොහොතක්වත් ගත වුණේ නැත.
“අනේ මේ මගේ රත්තරන් අම්මා දෙයියනේ අම්මේ මට දැන් කාගේ පිහිටක් ද මාව දාලා ගියා මගේ අම්මා. මට මේ දුක ඉවසාගන්න බැහැ අම්මේ.” බාගෙට පිළිස්සුන සිරුර බදාගෙන රූපන් නගන විලාපය හමුදාවේ පොලිසියේ නිලධාරීන් ගේ ද දෙනෙත් තෙත් කළේ ය.
ආදරය
උපන්දා සිට වසර 15 ක් තම මවගේ ආදරයට ලක්ව ජීවත් වූ මේ පුතු ත්‍රස්තවාදීන්ගෙන් ද බේරා ගෙන රැකගත් ඒ අහිංසක මවට සිදු කළ අපරාධය සැමියකු පියකු විසින් නොව තිරිසන් සතකු විසින්වත් නොකරන තරම් වූ මහා අපරාධයකි.
“මොකටද උඹ මේ අපරාධය කළේ පොලිස් නිලධාරියෙක් කුහදාසන් ගෙන් විමසුවේ ය.
පරීක්ෂණ පැවැත්වෙද්දී
“මගේ පුතා ගන්න” හේ පැවසීය.
කුහදාසන්ට අවශ්‍යව තිබී ඇත්තේ බිරිය මරා හොර රහසේ ම දරුවාත් අනියම් බිරියත් රැගෙන මෙරටින් පලා යාමට ය.
එපමණක් නොව සුදු වෑන් රථයක් ඔහු එම සැලසුමට යොදා ගෙන තිබුණේ පැහැර ගැනීම සහ සිදු කළ අපරාධය හමුදාවෙන් කළ එකක් බව පෙන්වීමට ය.
ඒ බව ඔහුගේ කට උත්තරවලින් ම ප්‍රකාශ වෙයි.
එම පැහැර ගැනීමට යොදා ගෙන තිබූ වෑන් රථය යාපනයේ කැලෑබද ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගැනිණි.
එහි රියදුරු ද අත්අඩංගුවට ගත හැකි විය. එහෙත් අපරාධයට සහාය වූ පාතාලයන් දෙදෙනා පළා ගොස් ඇත.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙයි.
ශාන්තිනීගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයත් මරණ පරීක්ෂණයත් පැවැත්විණි. ඇය අමානුෂික පහරදීමකට ලක්වී ඇති බව හෙළි වී තිබේ.
කුහදාසන් ද තම බිරිඳට කළ අපරාධය සම්බන්ධව පාපොච්චාරණය කර ඇත. ඔවුන් විසින් ශාන්තිනීගේ නිවෙසේ තිබූ මුදල් සහ රන් ආභරණ ද පැහැරගෙන ගොස් තිබුණි. ඒවා ද ඔවුන් ළඟ තිබී සොයා ගැනීමට හැකි විය.
සැලසුම
හමුදාව සහ පොලිසිය උතුරේ ජනතාවට විවිධ ආකාරයෙන් උදව් කරමින් සාමකාමී පරිසරයක් ඇති කිරීමට උත්සාහ කරයි. එසේ සිදුවෙමින් තිබියදී ඇතැම් පිරිස් ඔවුන්ගේ සූක්ෂ්ම අපරාධ සැලසුම් සිදුකර ඒවා හමුදාව විසින් කළ බව පෙන්වීමට දැඩි ප්‍රයත්නයක් දරයි. මෙම අපරාධ සිද්ධියත් කුහදාසන්ගේ කටඋත්තරයත් තුළින් ඔවුන්ගේ ඒ ප්‍රයත්නයේ තොරතුර හෙළි කෙළේ ය. හමුදාව සහ පොලිසිය මහත් කැපවීමකින් යුතුව මාර්ග බාධක අවට පොලිසි දැනුවත් කර මෙම පැහැර ගැනීම සිදුකළ අපරාධකරුවන්ට පලා යාමට නොදී මෙහෙයුම් සිදු කළ නිසා ඔවුන් මෙසේ කොටුකර ගැනීමට හැකි විය. යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, නියෝජ්‍ය පොලිස්පති එම්.සී.ඩී. අමරකෝන් මහත්වරුන් ගේ උපදෙස් එම මෙහෙයුම සිදු කෙරුණි.